Sunday, September 11, 2011

නසුරුදීන්


දිනක් නසුරුදීන් තමාගේ මිතුරකු හමුවීමට ඔහුගේ නිවසට ගියේය. එවිට මිතුරා සූදානමෙන් සිටියේ ඔහුගේ මිතුරන් තිදෙනෙකු බැලීමට යාමටය. නමුත් නසුරුදීන්ව සාදරයෙන් පිළිගත් ඔහු, නසුරුදීන්වත් තම මිතුරන් බැලීමට එක්ක යාමට සිතුවේය. එහෙත් නසුරුදීන් ඇදගෙන ඇවිත් තිබුණේ පරණ ඇදුමකි. එනිසා ඔහු තමාගේ හොද ඇදුමක් නසුරුදීන්ට ඇදගැනීමට දුනි. ඉන්පසු දෙදෙනා පළමු යහලුවාගේ ගෙදර ගියෝය.

නසුරුදීන්ගේ මිතුරා, නසුරුදීන්ව තමාගේ මිතුරාට හදුන්වා දුනි. ඉන්පසු නසුරුදීන් ඔහුට මෙසේ කීවේය. "මේ ඉන්නෙ මගේ හොදම යාලුවා. හැබැයි මේ ඇදුම නම් මගේ.." යනුවෙන් තමා ඇදගෙන සිටි ඇදුම පෙන්වමින් කිව්වේය. ඔහුගේ මිතුරාට මහත් ලැජ්ජාවක් ඇතිවිය. මිතුරාගේ නිවසින් සමුගෙන ඔහු නසුරුදීන්ට මෙසේ කිව්වේය. "මොකක්ද නසුරුදීන් ඔයා කළේ. ඒ ඇදුම ඔයාට මමනෙ දුන්නෙ. ඇයි මගේ යාලුවා ඉස්සරහ බොරු කිව්වෙ. කමක් නෑ අපි අනික් යාලුවව බලන්න යමු. හැබැයි එතන ගිහිල්ලා නම් මේ වගේ බොරු කියන්න එපා."


ඉන්පසු දෙදෙනා දෙවෙනි මිතුරාගේ ගෙදර ගියෝය. එහිදීත් මිතුරා නසුරුදීන්ව ඔහුට හදුන්වා දුන්නේය. ඉන්පසු නසුරුදීන් ඔහුට මෙසේ කීවේය. "මේ ඉන්නෙ මගේ හොදම යාලුවා. හැබැයි මේ ඇදුම නම් මගේ නෙමෙයි මෙයාගේ.." නසුරුදීන් ගැන කෝප වූ මිතුරා ඔහුව නිවසින් එළියට ගෙනැවිත් "මොකක්ද මිනිහෝ උඹ කිව්වෙ උඹ ඇදගෙන ඉන්න ඇදුම මගේ කියලා..." යැයි කීවෙය. එවිට නසුරුදීන් " ඇයි උඹමනෙ කිව්වෙ බොරු කියන්න එපා කියලා. ඒක නිසා තමයි මම ඇත්තම කිව්වෙ." යැයි පිළිතුරු දුනි. එවිට මිතුරා " අපි තුන්වෙනි යාලුවගෙ ගෙදරත් යමු. හැබැයි එහෙදි නම් ඇදුම ගැන වචනයක්වත් කතා කරන්න එපා" යනුවෙන් අවවාද කොට තුන්වෙනි මිතුරාගේ නිවසටද ගියෝය.

එහිදීත් නසුරුදීන්ව තම ම්තුරාට ඔහු හදුන්වා දුනි. නසුරුදීන් එවිට මෙසේ කිව්වේය. "මේ ඉන්නෙ මගේ හොදම යාලුවා. හැබැයි මම මේ ඇදුම ගැන නම් වචනයක්වත් කතා කරන්නෙ නෑ."
නසුරුදීන්ගේ මිතුරාට පොළොව පලාගෙන යාමට සිතුණි.

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...