Sunday, September 11, 2011

දත් හා මුහුණ සම්බන්ධ අනතුරක දී ඔබ කළ යුත්තේ කුමක්‌ ද?

දත් සහ මුහුණ සම්බන්ධ අනතුරු බොහෝ විට රෝගියා ගේ බාහිර රූපාලංකාරයට බලපෑම් ඇති කරයි. මේ හේතුවෙන් එවැනි අනතුරක්‌ ඇතැම් අයට විඳ දරාගත නොහැකි වේදනාකාරී අත්දැකීමක්‌ විය හැකි ය. දත් සහ මුහුණ සම්බන්ධ අනතුරු දරුවන් අතර ඉතා සුලබ ය. මෙවැනි අනතුරුවලට අද සමාජයේ මූලික හේතු වශයෙන් ක්‍රීඩා කටයුතු, අඬදබර, වැටීම් හා පෙරැළීම්, මාර්ග අනතුරු මෙන්ම රැකියාවේ දී සිදු වන අනතුරු ගෙනහැර දැක්‌විය හැකි ය. දත් හා මුහුණ සම්බන්ධ අනතුරු හේතුවෙන් මූලික වශයෙන් පහත සඳහන් ආබාධයන් එකක්‌ හෝ කීපයකට යමකු භාජන වීමට ඉඩ ඇත.

දත් එකක්‌ හෝ කීපයක්‌ ගැලවී යැම

දත්වල පිහිටීමේ වෙනස්‌ වීමක්‌-දත ඉදිරියට, පිටුපසට, දෙපැත්තට තල්ලු වීම මෙන්ම හනුව තුළට හෝ හනුවෙන් ඉවතට යැම මේ යටතේ සැලකිය හැකි ය.

දත් බුරුල් වීම, දන්ත මූලය බිඳී යැම, දන්ත මස්‌තකය බිඳී යැම, දන්ත අස්‌ථිය හෝ හනු අස්‌ථිය බිඳී යැම, හනුක සන්ධියට සිදු වන ආබාධයන්, දිව, තොල, තල්ල, විදුරුමස්‌ ශ්ලේෂ්මල පටලය වැනි මෘදු පටකවලට සිදු වන සීරීම්, කැපීම්, තැලීම් වැනි හානි.

මිනිසා තම ජීවිත කාලය තුළ කිරි දත් හා ස්‌ථිර දත් යනුවෙන් දත් දෙවර්ගයකට හිමිකම් කියන අතර එම ජාති දෙකට සිදු වන අනතුරු නිසා වන ආබාධ හා බැඳුණු ප්‍රතිකාර ක්‍රම

ද වෙනස්‌ වේ. කිරි දත්වලට සිදු වන අනතුරු දරුවන් ගේ වසය මාස 18-40 දක්‌වා කාලය තුළ සුලබ ය. එයට හේතුව දරුවා නැඟිටීමට හා ඇවිදීමට උත්සාහ කරන කාලය එය වීම ය.

ස්‌ථිර දත්වලට සිදු වන අනතුරු පාසල් යන පිරිමි දරුවන් අතර සුලබ ය. ඉදිරියට නෙරා ආ දත් පිහිටීම, තොල් නිසියාකාරව වැසී නො පැවතීම ආදී වර්ධන සම්බන්ධ හේතුන් ද අනතුරුවලට බලපෑ හැකි ය. දිරා ගිය දත් තිබීම නිසා සුළු අනතුරක දී පවා දත් බිඳී යා හැකි ය. මාර්ග අනතුරු, වැඩබිමක දී සිදු වන අනතුරු නිසා වර්තමානයේ දී වැඩිහිටියන් අතර ද දත් හා මුහුණ සම්බන්ධ අනතුරු ඉහළ ගොස්‌ ඇත. කෙසේ නමුත් නිවැරැදි ප්‍රථමාධාර හා ඉක්‌මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මේ අනතුරුවලින් රෝගීන්ට වන හානිය අවම කර ගැනීමට පුළුවන.

මෙහි දී වඩා වැදගත් වන්නේ දත් හා මුහුණ සම්බන්ධ අනතුරු සමග ඇති විය හැකි හිසට වන අනතුරු හේතුවෙන් විය හැකි ලේ ගැලීම්, සිහි නැතිවීම් ඇතුළු වෙනත් ශාරීරික ආපදා ගැන සොයා බැලීමයි. එයට හේතුව හිස අභ්‍යන්තර ලේ ගැලීම් ආදියෙන් රෝගියා ගේ ජීවිතයට හානි වීමට හැකි වීමයි. මෙහි දී අනතුරු සිදු වූ හේතුව, ආකාරය, ස්‌ථානය හා වේලාව යනාදී කරුණු පිළිබඳව රෝගියා ගෙන් විමසීම වැදගත් ය. රෝගියා මනා සිහියෙන් සිටී ද යන්නත් යහපත් ආශ්වාස ප්‍රශ්වාසයෙන් යුතු ද යන්නත් සොයා බැලිය යුතු ය.

බිඳුණු දත් කැබැලි, කෘත්‍රිම දත් ඇඳි, රුධිරය, ඛේටය හෝ සෙම මුඛය තුළ තිබේ නම් ඒවා ඉවත් කර රෝගියාට පහසුවෙන් හුස්‌ම ගැනීමට ඉඩ සලසා දිය යුතු ය. ඒ සමග නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා උත්සුක වීම වැදගත් ය. ඒ සඳහා සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයකු හමු වීම වැදගත් ය.

යම් අනතුරක්‌ හේතුවෙන් දත් එකක්‌ හෝ කීපයක්‌ හෝ හනුවෙන් ගැලවී ඇති අවස්‌ථාවක දී කළ යුතු මූලික ප්‍රථමාධාර අප දැන සිටීම ඉතා වැදගත් වේ. එයට හේතුව නූතන ප්‍රතිකාර ක්‍රම මගින් එසේ ගැලවී ගිය දත් වහා ම හනුවේ නියමිත ස්‌ථානයේ තැන්පත් කිරීමෙන් එම දත්වල ජීවී භාවය ආරක්‌ෂා කර රෝගියාට අහිමි වී ගිය දත් නැවතත් සුරක්‌ෂිතව ලබා දීමට ඇති හැකියාවයි. සම්පූර්ණයෙන් හනුවෙන් ගැලවී ගිය දතක්‌ ඉතා පරෙස්‌සමෙන් ඇල්ලිය යුතු වේ. දත බාහිර අපද්‍රව්‍යවලින් අපිරිසිදු වීම වැළැක්‌විය යුතු අතර දන්ත මස්‌තකයෙන් පමණක්‌ අල්ලා ගත යුතු ය. දත මුලින් ඇල්ලීමෙන් පරිදන්ත පටලයේ ජීවී සෛල විනාශ විය හැකි ය. දත මුල වසා පවතින පරිදන්ත පටලයේ ජීවී සෛල ආරක්‌ෂා කර ගැනීම සඳහා ගැලවුණු දත හැකි ඉක්‌මනින් සේලයින් හෝ කිරි ද්‍රාවණයක බහා ලිය යුතු ය. ගැලවුණු දතක්‌ කිසි ම විටක රෙදි හෝ ටිෂු කැබැලිවලින් එතීම හොඳ නැත. එමෙන්ම එය වියළීමෙන් ආරක්‌ෂා කරගත යුතු ය.

අනතුරට පත් දත බාහිර ද්‍රව්‍යයන් ගෙන් අපවිත්‍ර වී නොමැති අවස්‌ථාවක දී එය හනුවෙන් ගැලවුණු ස්‌ථානයේ තැන්පත් කළ හැකි නම් වඩාත් ම යෝග්‍ය වේ. සේලයින් හෝ කිරි නොමැති අවස්‌ථාවක දී රෝගියා ගේ ඛේටය හෝ පිරිසිදු ජලය දත තැන්පත් කර තැබීමට යොදාගත හැකි ය. මේ පරිදි බේරාගත් දත රැගෙන ඉක්‌මනින් ම දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු ය. ප්‍රතිකාර ලබා ගැනීමට පමා වීමෙන් ගැලවුණු දතේ ජීවය රඳවා ගැනීමට අපහසු වනු ඇත. මෙසේ ආරක්‌ෂාකාරීව රැගෙන ආ දතක්‌ නූතන ප්‍රතිකාර ක්‍රම අනුව නැවතත් හනුවේ තැන්පත් කළ හැකි වේ.

ගැලවුණු දත කිරි දතක්‌ නම් ඒ ගැන එතරම් බිය විය යුතු නො වේ. එයට හේතුව ස්‌ථිර දතක්‌ මගින් එහි අඩුව යම් දිනක පිරවෙන බැවිනි. එහෙත් කිරි දතට ඇතුළතින් වර්ධනය වෙමින් පවතින ස්‌ථිර දතට හානි වී ඇති දැයි නිසි පරිදි පරීක්‌ෂා කරවා ගැනීම අවශ්‍ය වේ.

දතට බාහිරින් වැදෙන පහරක්‌ හේතුවෙන් එහි පිහිටීම වෙනස්‌ විය හැකි ය. එය දත පැතිවලට තල්ලූ වීම හෝ හනුව තුළට හෝ ඉන් පිටතට ඇදී යැම ලෙස හඳුනා ගත හැකි ය. වේදනාව හා ඉදිමුම වැළැක්‌වීම පිණිස සිසිල් තෙත රෙදි කඩකින් අදාළ ස්‌ථානය ආවරණය කර වෛද්‍ය උපදෙස්‌ ලබා ගැනීම මේ සඳහා අවශ්‍ය වේ. දැඩි ආහාර ගැනීමෙන් වැළැකීම, වේදනානාශක භාවිතය හා යහපත් මුඛ සෞඛ්‍යයක්‌ පවත්වා ගැනීම ඉතා සුදුසු වේ.

බොහෝ අනතුරු හේතුවෙන් දන්ත මස්‌තකය බිඳී යැම සුලබ සිදුවීමකි. දන්ත මස්‌තකය බිඳී යැම දත තුළ වූ විවිධ පටක සම්බන්ධ කරමින් සිදුවිය හැකි ය. එනම් එනැමලය, දන්තීනය හා කල්ක කුහරය යන පටක සම්බන්ධ කරමින් දන්ත මස්‌තකය බිඳී යා හැකි ය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මේ පටක ආසාදන විය හැකි අතර දන්ත ව්‍යසනය හෙවත් දත් දිරා යැම ද ක්‌ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වයෙන් ආරම්භ විය හැකි ය. බාහිරින් පිහිටි එනැමලය පමණක්‌ බිඳී ඇත්නම් එය සකස්‌ කිරීම පිණිස පහසු ප්‍රතිකාර ක්‍රම ඇත. දන්තීනය හා කල්ක කුහරය සම්බන්ධ වන අවස්‌ථාවල දී බාහිර ක්‌ෂුද්‍ර ජීවීන් දත තුළ ජීවී පටක ආක්‍රමණය කරන බැවින් සංකීර්ණ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළ යුතු වේ. මෙවැනි අහිතකර බලපෑම් අවම කර ගැනීමට නම් වහාම දන්ත වෛද්‍ය උපදෙස්‌ පැතීම වැදගත් වේ. නූතන පිරවුම් ක්‍රම හා පිරවුම් ද්‍රව්‍ය හේතුවෙන් බිඳී ගිය දන්ත මස්‌තක ස්‌වාභාවික දත්වල පැහැයෙන් යථා පරිදි සකස්‌ කරගැනීමේ අවකාශය වර්තමානයේ දී උදා වී ඇත.

දන්ත මස්‌තකය බිඳී නො ගිය ද වේගවත් පහරක්‌ දත්වල වැදීම නිසා දත හනුවට සම්බන්ධ කරන පරිදන්ත පටලය තද වීම හා තැලීම සිදු විය හැකි ය. දත සෙලවීම, විදුරුමසින් ලේ ගැලීම හා වේදනාව රෝග ලක්‌ෂණ ලෙස දැකිය හැක. නිසි ප්‍රතිකාර නොගත හොත් කලක්‌ අවෑමෙන් මෙවැනි දත් මිය යා හැකි ය. දතේ පාට වෙනස්‌ වීම, දත මුල සැරව බිබිලි හට ගැනීම ආදී පසු ප්‍රතිඵල ඇති විය හැකි ය. එයට හේතුව අනතුර නිසා දතේ පරිදන්ත පටලට හරහා ලැබුණු රුධිර හා ස්‌නායු සැපයුම අඩාළ වීමයි. මෙය වළක්‌වා ගැනීම පිණිස මූලික ප්‍රථමාධාර හා වෛද්‍ය උපදෙස්‌ මහෝපකාරී වේ.

දන්ත මූලය බිඳී යැම ද සමහර අනතුරු නිසා සිදු වන අයහපත් සිදුවීමකි. දතේ දිග අක්‌ෂය හරහා දන්ත මූලය බිඳී ඇත්නම් බොහෝ විට දත ගලවා ඉවත් කිරීමට සිදුවිය හැකි ය. එහෙත් දතේ හරස්‌ අක්‌ෂය හරහා දත් මූලය බිඳී ඇති විට විවිධ ප්‍රතිකාර ක්‍රම මගින් දත ආරක්‌ෂා කර ගැනීමට හැකියාව තිබේ. ඒ සඳහා ද අවශ්‍ය දන්ත ප්‍රතිකාර කල් නො යවා ලබාගත යුතු වන්නේ අනතුරට පත් දන්ත මූලය ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාවලියෙන් බේරා ගැනීම ඉතා වැදගත් වන නිසා ය.

එක ළඟ පිහිටි දත් කීපයක්‌ සෙලවීම, විදුරුමසින් ලේ ගැලීම, අධික වේදනාව හා ඉදිමීම, මුඛය විවෘත කිරීම අපහසු වීම යන රෝග ලක්‌ෂණ ඇත්නම් එමගින් පෙනී යන්නේ බොහෝ විට දන්ත අස්‌ථිය හෝ හනුක අස්‌ථිවල බිඳි යැමකි. මේ සඳහා ඉක්‌මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ. ඉදිමීම වළක්‌වා ගැනීම සඳහා අයිස්‌ හෝ සිසිල් ජලය යොදා ගත හැකි ය. මුහුණ හා සම්බන්ධ අනතුරු හේතුවෙන් හනුක සන්ධියට ආබාධ ඇති විය හැකි අතර කට ඇරීමට අපහසු වීම හා අධික වේදනාව මෙහි දී ඇති වන ප්‍රධාන ලක්‌ෂණ වේ. හනුක සන්ධිය සම්බන්ධයෙන් සිදු වී ඇති අනතුරු සඳහා ඉක්‌මන් නිවැරැදි ප්‍රතිකාර ලබා ගැනීමට අත්‍යවශ්‍ය වන්නේ කල් යැමේ දී එම සන්ධියේ ක්‍රියාකාරීත්වය සීමා වීමෙන් මුඛය විවෘත කිරීම අවහිර විය හැකි නිසා ය. එවිට ආහාර ගැනීම, කතා කිරීම වැනි වැදගත් කාර්යයන් සීමා වීමෙන් රෝගියාට මහත් අපහසුතාවන්ට මුහුණ පෑමට සිදු විය හැකි ය.

මීට අමතරව මුහුණ සම්බන්ධ සම, ශ්ලේෂ්මල පටලය වැනි මෘදු පටකවල සීරීම්, කැපීම් තුවාල ඇත්නම් එමගින් ලේ ගැලීම වැළැක්‌වීම සඳහා නිසිs පරිදි පිරිසිදු රෙදි කඩකින් තද කර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වීම වැදගත් වේ. අනතුරුවල දී දිව සැපීම නිසා දිවට වන අනතුරු ද දැකගත හැකි ය. රෝගියා ගේ තුවාල බාහිර අපද්‍රව්‍ය මගින් අපවිත්‍ර වී ඇත්නම් ඒවා පිරිසිදු කර ලේ ගැලීම නතර කිරීමත් වැදගත් වන අතර පිටගැස්‌ම රෝගී තත්ත්වය වළක්‌වා ගැනීම සඳහා අවශ්‍ය වේ. මේ සඳහා නිසියාකාර වෛද්‍ය උපදෙස්‌ ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ
මුඛ වෛද්‍ය හා පරිදන්ත අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය
ඡේ. ඒ. එම්. එස්‌. ජයතිලක


උපුටා ගැනීම විදුසර පුවත් පත

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...