Sunday, September 11, 2011

දියවැඩියාවෙන් තොර නිරෝගී දිවියක්‌

නිරෝගී රෝගී සියලු දෙනාට ම යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ පවත්වා ගැනීම සඳහා ව්‍යායාම වැදගත් වේ. ව්‍යායාම මගින් තරබාරුව අඩු කරයි. එවිට දියවැඩියාව වැළඳීමේ අවධානම අඩු කරවයි. මීට අමතරව දියවැඩියා රෝගීන්ට ව්‍යායාම මගින් බොහෝ වාසි අත්වෙයි. රුධිරයේ සීනි මට්‌ටම මනා පාලනයටත්, ඉන්සියුලින්වල ක්‍රියාකාරීත්වය කාර්යක්‌ෂම කිරීමටත් ව්‍යායාම වැදගත්වේ. තවද රුධිරයේ කොලෙස්‌ට්‍රරෝල් ප්‍රමාණය පාලනය කිරීම සඳහා ද ව්‍යායාම වැදගත්වේ.

දිනකට විනාඩි 20 කට වඩා වැඩි කාලයක්‌ වෛද්‍ය උපදෙස්‌ අනුව ව්‍යායාම කිරීම ඉතා සුදුසුයි.

මානසික යහපැවැත්ම සහ දියවැඩියාව

මානසික පීඩනය වැඩි කරවන හේතු හඳුනාගෙන ඒවායින් ඉවත් වීම දියවැඩියා රෝගියෙකුට ඉතා වැදගත්වේ. ඔහුට හෝ ඇයට පීඩා කාරී ප්‍රශ්න තිබේනම් එය සමීපතමයෙකු සමග සාකච්ඡා කරමින් විසඳුම් සෙවීම වඩාත් යෝග්‍ය වේ. එමෙන්ම බොහෝ දෙනෙකු අධික ණය

බරින් සහ මූල්‍යමය වගකීම්වලින් පිරි ජීවිත ගත කරයි. එවිට ද මානසික ආතතිය ඇති වේ. ඒවායින් මිදීම වැදගත් වන අතර අනවශ්‍ය අවිවේකය මග හරවා ගැනීම සුදුසුයි. එදිනෙදා කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කිරීමත් ආගමික කටයුතු වලට මුල් තැන දීමත් වැදගත්වේ.

ඖෂධ සහ දියවැඩියාව

සාමාන්‍ය ක්‍රම මගින් සීනි පාලනය කළ නොහැකි වූ විට ඖෂධ භාවිතා කරමින් රුධිරයේ සීනි මට්‌ටම පාලනය කිරීමට වෛද්‍ය උපදෙස්‌ ලැබේ.

වෛද්‍ය උපදෙස්‌ අනුව දියවැඩියාව සඳහා ඖෂධ ආරම්භ කළ යුතුය. එම ඖෂධ නියමිත වේලාවට නියමිත මාත්‍රාවෙන් ඖෂධ වේල් මඟ නොහැර ලබා ගත යුතුයි.

ඖෂධ මාත්‍රාව අඩු කිරීම හෝ වැඩි කිරීම අලුත් ඖෂධ එකතු කිරීම වෛද්‍ය උපදෙස්‌ මත කළ යුතුයි.

මේ සඳහා මසකට වරක්‌ රුධිරයේ සීනි මට්‌ටම පරීක්‌ෂා කර ගනිමින් වෛද්‍ය වරයෙකු හමුවීම සුදුසුයි. දියවැඩියාව වැඩි රෝගියෙකුට වෛද්‍ය වරුන් විසින් ඉන්සියුලින් ලබා ගැනීම නිර්දේශ කරයි. එය ලබා ගත යුතු පිළිවෙලක්‌ තිබේ.

ඉන්සියුලින් භාවිතයට උපදෙස්‌

ඉන්සියුලින් ප්‍රතිකාරය දීර්ඝ කාලයක්‌ අවශ්‍ය වන්නේ දියවැඩියාව වර්ග 1 රෝගීන්ට වේ. මෙම රෝගීන්ගේ ශරීරයේ ඉන්සියුලින් අඩුවක්‌ පවතී.

දියවැඩියාවට ඖෂධ ලබාගන්නා රෝගීන්ගේ දියවැඩියාව හොඳින් පාලනය නොවන විටද ඉන්සියුලින් පිටතින් ලබා ගැනීම කළ යුතුය.

ඉන්සියුලින් වර්ග මොනවාද?

ක්‍රියාකාරී කාල පරාසය අනුව ඉන්සියුලින් වර්ග තුනකි.

1. ඉක්‌මන් ක්‍රියාකාරී ඉන්සියුලින්

මෙම ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය පැය භාගයක දී පමණ ඇතිවේ. එහි ක්‍රියාකාරීත්වය පැය 4 දී අවසන් වෙයි.

2. දිගු කාලීනව ක්‍රියා කරන ඉන්සියුලින් වර්ග

ක්‍රියාකාරීත්වය පැය 2 කදී සෙමින් සිදු වී එහි බලපෑම පැය 18-24 ක කාලයක්‌ පවතී.

3. මධ්‍යස්‌ථ ක්‍රියාකාරීත්වයක්‌ ඇති ඉන්සියුලින් වර්ග

මෙය ඉහත දැක්‌වූ ඉක්‌මන් සහ දිගුකාලීන වර්ග දෙකෙහි ම එකතුවකි.

ඉන්සියුලින් ගබඩා කරන්නේ කෙසේද?

ඉන්සියුලින් ගබඩා කිරීමට සුදුසුම ක්‍රමය වන්නේ ශීතකරණය තුළ තැබීමයි. මෙහිදී ශීතකරණයේ පහත රාක්‌කවල වසන ලද ප්ලාස්‌ටික්‌ බඳුනක ගබඩා කළ යුතුය. (අධි ශීතකරණ කොටසේ ((Freezer) නොතබන්න.)

ඉන්සියුලින් එන්නත් කිරීමේදී

තමා විසින්ම එන්නතක්‌ ලබා ගැනීම සුදුසුම ක්‍රමයයි.

එසේ නොමැතිනම් ඒ පිළිබඳ පුහුණුවීමක්‌ ලද තම නිවසේ අයෙකු ලවා එම කාර්යය කළ හැකියි.

ඔබ ඉන්සියුලින් ලබා ගත යුතු ආකාරය පිළිබඳව වෛද්‍යවරයා හෝ රෝහලේ හෙදියක්‌ ඔබට කියා දෙනු ඇත.

ශරීරයේ ඉන්සියුලින් එන්නත් කළ යුතු ප්‍රදේශ

* පෙකණිය වටා ඇති අත්ලක්‌ පමණ ප්‍රදේශයට

* කකුලේ ඉහළ කොටසට

* අතේ ඉහළ බාහුවට

එන්නත් ලබා ගන්නා ශරීර ප්‍රදේශය වරින් වර වෙනස්‌ කළ යුතු බව ඔබ මතක තබා ගත යුතුයි.


ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය
එන්.එස්‌.ඒ. සේනාරත්න
විකලාංග අංශය - ජාතික රෝහල

No comments:

Post a Comment

මෙය ඔබට උදව්වක් වූවා නම් කරුණාකර කමෙන්ට් එකක් තබා යන්න..
Report Dead Links....
Linksවැඩ කරන්නේ නැත්නම් කරුණාකර Comment එකකින් එය දන්වන්න...